දවසක ඔබ යාලුවො තුන් දෙනෙක් එක්ක ඔබේ කාරෙකේ, ඔබේ ඔෆිස් එකේම කෙනෙකුගෙ ඥාතියෙකුගෙ මළ ගෙදරක යනව. අවසන් ගෞරව කෙසේ වෙතත් එන්න කලින් පදමට සප්පායම් වෙනව. යක්කු ගස් නගින්න පොඩ්ඩකට කලින් බඩගාගෙන ගිහින් ආපහු එන්න කාරෙකට නගිනව. ඔච්චර බීල වාහන එළවන්න හොඳ නෑ? හොඳ නෑ නේන්නම්. ඒත් ඔබට පොඩ්ඩක්වත් වෙරි නෑ නෙ. ඔබ කොච්චර දැම්මත් වදින කෙනෙක් නෙමෙයි නෙ. සෙට් උනාම නිතරම කට්ටියට මතක් කරලත් දෙන්නෙ ඒකනෙ.
ඔබට වෙරි නැති උනාට කාරෙකේ මොකක් හරි අවුලක් නිසා එළවන්න ටිකක් අමාරු වෙනව. දැන් දවස් දෙකක් විතර ඉඳන් ඉස්සරහින් යන බූරුව යන්නෙ ගාට ගාට නිසා ඔබ ඉඩ තියෙන තැනක් බලල ඌව ඉස්සර කරනව. ඒත් ඔබේ කරුමෙටම ඊට ටිකක් ඉස්සරහින් පඳුරක් අස්සෙ ඉන්න රාළහාමි කෙනෙක් ඕක දැකල ටෝච් එකත් ගහගෙන පාරට පනිනව. ඔබේ අම්මගෙ රෙද්දෙ කාරෙකේ අර අවුල හින්ද හදිස්සියට බ්රේක් වදින්නෙත් නැති උනාට රාළහාමිව යට නොකර ඔබ යන්තම් කාරෙක නවත්තගන්නව.
කුණුහරපයක් කියවෙන්න යද්දිම රාළහාමි ඇවිත් ලයිසන් එක ඉල්ලනව.
"සර්, ලයිසන් ඉන්ෂුවරන්ස් ගමුද බලන්න? කොහෙද මේ රෑ හදිස්සියෙ?"
"නෑ රාළහාමි, මේ මළ ගෙදරක ගියා."
ලයිසන් ඉන්ෂුවරන්ස් ටික තිබුන ඔබට හොඳට මතකයි. අනිවාර්යයෙන්ම තිබ්බ. ඔබ පර්ස් එක අදීවි. පර්ස් එකේ නැති උනාට කැබි හෝල් එකේ තියෙනවා. ශුවර්. ඒත් කැබි හෝල් එකෙත් නෑ.
"ඇයි සර්, ඩොකියුමන්ට්ස් නැද්ද?"
විහිලු කරන්න එපා මනුස්සයො. දෙකම තිබ්බ. පොඩ්ඩක් හිටපන්.
ඉස්සරහ සීට් එකේ ඉන්න ඔබේ යාලුව පර්ස් එක ඇදල උගෙ ලයිසන් එක අතට ගන්නව.
"ආ රාළහාමි."
මොකක්?
"මේක මොකටද?"
"ඉතින් රාළහාමි මුගෙ එක නෑනෙ."
ගොන් ලබ්බා. දැන් පොලිස්කාරය දන්නවනෙ ලයිසන් එක නෑ කියල.
"එහෙනන් මං මේකට දඩ කොළේ ලියන්නද?" රාළහාමි අහනව.
"එපා එපා, ඕකට ලියන්න එපා! ඕක මගෙනෙ!"
මූ ඇත්තටම ඔබේ යාලුව ම ද, නැත්තන් ඒ වගෙම වෙන එකෙක්ද? රාළහාමි ඔබ දිහාවට හැරෙනව.
"මං සර්ව නැවැත්තුවෙ ඉර කපපු නිසා. ඒත් දැන් බැලුවම සර් බීල, ඉරත් කපල, ලයිසනුත් නෑ. පොඩ්ඩක් බහිමුද සර් කාරෙකෙන්?"
ඔබත් එක්කම, පිටිපස්සෙ සීට් එකේ ඉන්න යාලුවො දෙන්නගෙන් පාර පැත්ත ඉන්න එකත් එළියට බහිනව. බැහැල ගිහින් රාළහාමිගෙ කරට අත දාගන්නව.
"එහෙම කියන්න එපා පුතා. ලයිසන් නෑ නෙමෙයි නෙ. ලයිසන් තියෙනව, ගෙනල්ල නෑ."
ඊට පස්සෙ ඒ සීදේවි රාළහාමිගෙන් කට පුරා කුණුහරප දෙකකුත් අහගෙන, හතර දෙනාම පන්සීය ගානෙ දාල දෙදාහකුත් දීල ශේප් කරගෙන ගෙදර එනව.
බීල ඇවිත් පොලිසියට අහු උනොත් මෙහෙම කරන්න නම් පිස්සොම වෙන්න ඕනෙ.