බීල ඇවිත් පොලිසියට අහු උනොත් මෙහෙම කරන්න


 
දවසක ඔබ යාලුවො තුන් දෙනෙක් එක්ක ඔබේ කාරෙකේ, ඔබේ ඔෆිස් එකේම කෙනෙකුගෙ ඥාතියෙකුගෙ මළ ගෙදරක යනව. අවසන් ගෞරව කෙසේ වෙතත් එන්න කලින් පදමට සප්පායම් වෙනව. යක්කු ගස් නගින්න පොඩ්ඩකට කලින් බඩගාගෙන ගිහින් ආපහු එන්න කාරෙකට නගිනව. ඔච්චර බීල වාහන එළවන්න හොඳ නෑ? හොඳ නෑ නේන්නම්. ඒත් ඔබට පොඩ්ඩක්වත් වෙරි නෑ නෙ. ඔබ කොච්චර දැම්මත් වදින කෙනෙක් නෙමෙයි නෙ. සෙට් උනාම නිතරම කට්ටියට මතක් කරලත් දෙන්නෙ ඒකනෙ.

ඔබට වෙරි නැති උනාට කාරෙකේ මොකක් හරි අවුලක් නිසා එළවන්න ටිකක් අමාරු වෙනව. දැන් දවස් දෙකක් විතර ඉඳන් ඉස්සරහින් යන බූරුව යන්නෙ ගාට ගාට නිසා ඔබ ඉඩ තියෙන තැනක් බලල ඌව ඉස්සර කරනව. ඒත් ඔබේ කරුමෙටම ඊට ටිකක් ඉස්සරහින් පඳුරක් අස්සෙ ඉන්න රාළහාමි කෙනෙක් ඕක දැකල ටෝච් එකත් ගහගෙන පාරට පනිනව. ඔබේ අම්මගෙ රෙද්දෙ කාරෙකේ අර අවුල හින්ද හදිස්සියට බ්‍රේක් වදින්නෙත් නැති උනාට රාළහාමිව යට නොකර ඔබ යන්තම් කාරෙක නවත්තගන්නව.

කුණුහරපයක් කියවෙන්න යද්දිම රාළහාමි ඇවිත් ලයිසන් එක ඉල්ලනව.

"සර්, ලයිසන් ඉන්ෂුවරන්ස් ගමුද බලන්න? කොහෙද මේ රෑ හදිස්සියෙ?"

"නෑ රාළහාමි, මේ මළ ගෙදරක ගියා."

ලයිසන් ඉන්ෂුවරන්ස් ටික තිබුන ඔබට හොඳට මතකයි. අනිවාර්යයෙන්ම තිබ්බ. ඔබ පර්ස් එක අදීවි. පර්ස් එකේ නැති උනාට කැබි හෝල් එකේ තියෙනවා. ශුවර්. ඒත් කැබි හෝල් එකෙත් නෑ.

"ඇයි සර්, ඩොකියුමන්ට්ස් නැද්ද?"

විහිලු කරන්න එපා මනුස්සයො. දෙකම තිබ්බ. පොඩ්ඩක් හිටපන්.

ඉස්සරහ සීට් එකේ ඉන්න ඔබේ යාලුව පර්ස් එක ඇදල උගෙ ලයිසන් එක අතට ගන්නව.

"ආ රාළහාමි."

මොකක්?

"මේක මොකටද?"

"ඉතින් රාළහාමි මුගෙ එක නෑනෙ."

ගොන් ලබ්බා. දැන් පොලිස්කාරය දන්නවනෙ ලයිසන් එක නෑ කියල.  

"එහෙනන් මං මේකට දඩ කොළේ ලියන්නද?" රාළහාමි අහනව.

"එපා එපා, ඕකට ලියන්න එපා! ඕක මගෙනෙ!" 

මූ ඇත්තටම ඔබේ යාලුව ම ද, නැත්තන් ඒ වගෙම වෙන එකෙක්ද? රාළහාමි ඔබ දිහාවට හැරෙනව.

"මං සර්ව නැවැත්තුවෙ ඉර කපපු නිසා. ඒත් දැන් බැලුවම සර් බීල, ඉරත් කපල, ලයිසනුත් නෑ. පොඩ්ඩක් බහිමුද සර් කාරෙකෙන්?"

ඔබත් එක්කම, පිටිපස්සෙ සීට් එකේ ඉන්න යාලුවො දෙන්නගෙන් පාර පැත්ත ඉන්න එකත් එළියට බහිනව. බැහැල ගිහින් රාළහාමිගෙ කරට අත දාගන්නව.

"එහෙම කියන්න එපා පුතා. ලයිසන් නෑ නෙමෙයි නෙ. ලයිසන් තියෙනව, ගෙනල්ල නෑ."

ඊට පස්සෙ ඒ සීදේවි රාළහාමිගෙන් කට පුරා කුණුහරප දෙකකුත් අහගෙන, හතර දෙනාම පන්සීය ගානෙ දාල දෙදාහකුත් දීල ශේප් කරගෙන ගෙදර එනව.

බීල ඇවිත් පොලිසියට අහු උනොත් මෙහෙම කරන්න නම් පිස්සොම වෙන්න ඕනෙ. 

You Might Also Like

2 comments

  1. බීලා වාහන පදවලා පොලිසියට අහු උනොත් කරන දේ ගැනනේ මේ ලිපියෙන් කියැවෙන්නේ ! නොබී ගිහින් පොලිසියට අහු උනාම බීලා කියලා ඇක්ට් කරලා බේරිලා එන්න පුළුවන් උන කාලයක් තිබුනා කිව්වාම ඒක විශ්වාස කරන්න පුලුවන්ද ? මේ ලියන මම ඒක ප්‍රායෝගිකව ක්‍රියාවේ යොදවලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත් කෙනෙක්.
    87-89 කාලයේ "දේශප්‍රේමීන්" බොන්නේ නැහැයි කියලා විශාල ප්‍රසිද්ධියක් තිබුනා. ඒ නිසා බේබද්දන් ගැන පොලිසිය වද උනේ නැහැ. ( මේ කාලේ වෙනකොට වෙරිවෙච්ච මෝටර් සයිකලයක් ලාල්කාන්ත සහෝදරයාගේ කැබ් එකේ හැප්පිලා වත්, විජිත හේරත් සහෝදරයාගේ කැබ් එකට බීලා වෙරිමතේ පාරේ මැදට ඇවිදගෙන ආපු ලයිට් කනුවක් හැපිලා වත් තිබුනේ නැහැ නේ! ) එකල රාත්‍රී ගමන් බිමන් කරන පුද්ගලයින් දිහා පොලිසිය බැලුවේ විශාල සැකයකින් .මාත් මගේ මිතුරෙකුත්, වතුරවත් බීලා නැතුව ඉන්දැද්දී පොලිසියෙන් ඇල්ලුවා. කොහෙද ගියේ කියලා ඇහුවාම පාටියකට ගියා කියලා කිව්වාම පොලිසිය ඇහුවේ බිව්වද කියලයි. ටිකක් බිව්වා කිව්වාම '' පරිස්සමින් ගෙදර යනවා" කියන එක විතරයි කිව්වේ. එහෙම නොකිව්වා නම් අඩුම ගානේ විනාඩි දහයක් විතර මාවත්, මා සමග ගිය යාලුවා වත් වෙන වෙනම ප්‍රශ්න කරලා උත්තර ගැලපුනේ නැතිනම් ලොකු කරදරයකටත් මුහුණ දෙන්න වෙනවා.

    නැවත ලියන්න පටන් අරගෙන පළමු ලිපියට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඕක කියෙව්වම මට මතක් උනේ ඉස්සර මං ඉස්කෝලෙ යන කාලෙ, අපේ ප්‍රින්සිපල්ව මාරු කරල අලුතෙන් එක්කෙනෙක්ව දාල, ළමයි එක්ක පොඩි ප්‍රශ්නයක් ආව. ඉස්කෝලෙ ඇතුළෙ තරමක කැරැල්ලක් ගියා අලුත් ප්‍රින්සිපල්ට විරුද්ධව. ඒ කාලෙ ගේට්ටුව ගාව ශිෂ්‍ය නායකයො බෑග් චෙක් කරද්දි, බෑග්වල රතිඤ්ඤා එහෙම දාගෙන ආපු කොල්ලන්ව සාමාන්‍ය පාරෙන් නැතුව ඉක්මනටම ඇතුළට ගත්ත..

      Delete